සිවුරු, අටපිරිකර සහ පූජා භාණ්ඩ අලෙවිසැල් ප්‍රමිතිගත කිරීම අනිවාර්ය කෙරේ. බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එක්ව දිවයිනේ සියලුම පූජා භාණ්ඩ අලෙවිසැල් නියාමනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ආරම්භ කර ඇත. 2003 අංක 09 දරන පාරිභෝගික අධිකාරී පනතේ ගැසට් නිවේදන වන විධාන 54 සහ 55 අනුව මෙම නීති රීති ක්‍රියාත්මක වේ.
අටපිරිකර සඳහා වන මූලික ප්‍රමිතීන් මෙසේය. දෙපොට සහ තනිපොට සිවුරුවල පළල අඟල් 102 සහ උස අඟල් 83 විය යුතුය. අඳනයේ පළල අඟල් 79 සහ උස අඟල් 43 විය යුතුය. බඳ පටිය සිවුරේ රෙද්දේ වර්ණයෙන්ම විය යුතු අතර, පෙරහන්කඩය සුදු වර්ණයෙන් ගොට්ටක් ආකාරයට මසා තිබිය යුතුය. නූල් පන්දුවේ දිග මීටර් 18 ක් හෝ ඊට වැඩි විය යුතු අතර දැලි පිහිය සඳහා සාමාන්‍ය රේසර් භාවිත කළ නොහැක. පාත්‍රය ලෝහය සමඟ ප්‍රතික්‍රියා කර ආහාර අහිතකර වේ නම් ඒ බව සටහන් කළ යුතුය.
ප්‍රධාන වෙළෙඳ කොන්දේසි ලෙස පූජා භාණ්ඩවල ගෞරවයට හානි වන රේන්ද, පබළු හෝ අවිනීත මෝස්තර සහ නොගැලපෙන වර්ණ භාවිතය තහනම් වේ. විනය විරෝධී දොළොස් පිරිකර සහ සොළොස් පිරිකර අලෙවිය වහාම නැවැත්විය යුතුය. අටපිරිකර විنيවිද පෙනෙන සේලෝපේන් කොළවලින් පමණක් ආවරණය කළ යුතු අතර ඇතුළත කාඩ්බෝඩ් නොයෙදිය යුතුය. පරණ හෝ පරිහරණය කළ සිවුරු, මලබැඳුණු පාත්‍රා හෝ පරණ දැලිපිහි නැවත ඇතුළත් කිරීම සපුරා තහනම්ය. ඇසුරුම මත උපරිම සිල්ලර මිල, නිෂ්පාදිත දිනය සහ නිෂ්පාදකයාගේ නම, ලිපිනය සහ දුරකථන අංකය පැහැදිලිව සඳහන් කිරීම සහ මිල ප්‍රදර්ශනය අනිවාර්ය වේ. සියලුම වෙළෙඳුන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී, එම සහතිකය වෙළෙඳසැලේ ප්‍රදර්ශනය කළ යුතුය.
මෙම නීති උල්ලංඝනය කරන ව්‍යාපාරික ස්ථානවල ලියාපදිංචිය වහාම අවලංගු කර දැඩි නෛතික පියවර ගනු ලැබේ. වැඩිදුර විමසීම් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. ජී. සේනාරත්න මහතාගේ 0112337350 හෝ 0112307674 යන දුරකථන අංක මඟින් සිදුකළ හැක.