විද්‍යා දදාති විනයං යන උදාර පඬි වැකිය පසක් කරමින් ධර්ම ශාස්ත්‍රීය ලෝකයත් සම්බුදු සසුනත් එකලු කරනු වස් අප ශ්‍රී කාවන්තිස්ස මහ පිරිවෙන් කීර්තිමත් ආදි ශිෂ්‍යය, ඓතිහාසික තිස්සමහාරාම රාජමහා විහාරාධිවාසී,දර්ශනපති පණ්ඩිත ගලගම ධම්මදින්න ස්ථවිරයන් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධුරයකින් පිදුම් ලැබීමේ පුවත අප සැම ඉමහත් සතුටට පත්වන කරුණකි.
අප පිරිවෙන වෙතින් ශිප් සතර හදාරා ශාස්ත්‍රීය ලොවේ ඉහළම හිනිපෙත්තකට පිය නැගූ උන්වහන්සේ, තුරුණු වියෙහිදීම පරිණත ධර්ම විනයධර, භාෂාන්තර විශාරද යතිවරයකු ලෙස දැක්වූ කෞශල්‍ය මෙලෙස ඇගයීමට ලක්වීම සමස්ත රුහුණු පුරවරයට මෙන්ම ඓතිහාසික තිස්සමහාරාම රාජ මහා විහාරයටද එමෙන්ම අප පිරිවන්ට ද මහත් කීර්තියක බැව් පැවසිය යුතුය. බොහෝ ශාස්ත්‍රාභිලාෂී විද්‍යාර්ථීහු රැසක් බිහිකළ දකුණු ලක සම්භාව්‍ය පිරිවෙන් ආයතනයක් වූ ශ්‍රී කාවන්තිස්ස මහා පිරිවෙනෙන් ලැබූ ධර්ම ශාස්ත්‍රීය හික්මීම තුළින් ගලගම හිමියන්ගේ ශාස්ත්‍රීය ඥානය විශ්ව විද්‍යාල මට්ටමින් මෙරට ගිහි පැවිදි විද්‍යාර්ථීන්ගේ නැණස පාදන්නට යෙදවීමට ලැබීම අත්‍යන්තයෙන්ම මෙරට සම්බුදු සසුනෙහි මෙන්ම රට දැය සමයෙහිද චිරස්ථතියට හේතුවනු ඇතැයි අප විශ්වාස කරමු.
එනයින් තත් පිරිවෙන්හි කෘත්‍යාධිකාරී අතිගෞරවාර්හ ආචාර්ය දේවාලේගම ධම්මසේනාභිධාන ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයෙහි මාතර කන්දබඩ පත්තුව ඇතුළු හම්බන්තර පළාතේ ප්‍රධාන සංඝනායකස්ථවිරපාදයන් වහන්සේ ඇතුළු ගරු පරිවේනාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කිරින්දේ සුමනසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ද එමෙන්ම ගිහි පැවිදි ආචාර්ය භවතුන්ගේ හා ශිෂ්‍ය ප්‍රජාවගේ ශුභාශිර්වාදය මෙම අවස්ථාවේදී පළ කරනු ලබන අතර ලෝක ශාසන අභිවෘද්ධියෙහි හා ශබ්ද ශාස්ත්‍රාදීහිද තව තවත් නිමග්න වෙමින් සමාජ අර්ථ සිද්ධියෙහිද යෙදෙනු පිණිස දර්ශනපති පණ්ඩිත ගලගම ධම්මදින්න ස්වාමීන්ද්‍රයන් වහන්සේ හට උතුම් තුණුරුවනෙහි අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී භාවයත් චිරජීවනයත් සැලසේවායි පතමු.
හ/ ශ්‍රී කාවන්තිස්ස මහ පිරිවෙන -තිස්සමහාරාමය...