ඇතැම් පිරුවන්වලට ගුරුවරුන් බඳවා ගැනීමේදී අල්ලස් ලබා ගන්නා බව පිරුවන් ක්ෂේත්රයට සම්බන්ධ සමස්තයට ම රහසක් නොවේ. පිරුවන් විහාරාධිපති, පරිවේණාධිපති, කෘත්යාධිකාරී පමණක් නොව අධ්යාපන අමාත්යංශයේ පිරුවන් අධ්යක්ෂවරයෙක් ද මීට මාස කිහිපයකට ඉහතදී අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද බව මාධ්යවලින් ද ප්රචාරය වීම සංඝ සමාජය හා සම්බන්ධය සමස්ත ක්ෂේත්රයන්හි පරිහානිය පෙන්වන තවත් එක් නිදසුනක් පමණි. (මෙසේ සමාජ මාධ්යයෙන් ප්රචාරය වූ පරිදි පිරුවන් අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට පත්වූ බවට වූ ප්රවෘත්තිය අසත්යය බව බලංගොඩ සමිත හිමියන් විසින් මා වෙත දැනුවත් කෙරිණ. ඒ අනුව ඒ සම්බන්ධයෙන් කණගාටුව පළකරමි)
ගුරුවරුන්ගෙන් අල්ලස් ලබාගැනීමේ චෝදනා සනාථ වීම නිසා කුරුණෑගල නගරාසන්නයේ පිරුවනක පරිවේණාධිපතීන් වහන්සේගේ පත්වීම අහෝසි වූ අතර එම මහ පිරුවනේ පැවති තත්ත්වය සලකා බලා එය මූලික පිරුවනක් බවට පත් කිරීමට එවකට අධ්යාපන අමාත්යංශයේ පිරුවන් ශාඛාවේ අධ්යක්ෂ ධුරය දැරූ ගෞරවාර්හ වටිනාපහ සෝමානන්ද නාහිමියන් වහන්සේ ප්රධාන විමර්ශන සභාව විසින් නිර්දේශ කරන ලදි.
එහෙත් පිරුවන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය පවතින්නේ පිරුවන් අධ්යාපන මණ්ඩලයට ය. ඒ අනුව ඉහත නිර්දේශය සම්බන්ධයෙන් දීර්ඝව කරුණු විමර්ශනය කළ පිරුවන් අධ්යාපන මණ්ඩලයේ අවසාන තීරණය වූයේ එම පිරුවන වසා දැමීමටයි. එයට එම පිරුවනේ පැවති පරිහානිකර තත්ත්වය හේතු වූ නමුත් වැරදිකාර පරිවේණාධිපති හිමියන් විසින් එම නිකායේ මහනාහිමියන්ට අසත්ය තොරතුරු වාර්තා කොට පිරුවන වැසීමේ තීරණයට බාධා කරන ලදි. එසේම එකල එම පිරුවනේ සේවය කළ ගුරුවරුන්ගෙන් පළිගැනීම පිණිස නොදන්වා නොපැමිණි බවට ලොග් සටහන් තබා ගුරුවරුන්ගේ පත්වීම් අහෝසි කිරීම දක්වා මෙම ප්රශ්නය දුරදිග ගෙන යන ලදි.
මේ අතර නවක පත්වීම්ලාභී හිමිනමකට එම පිරුවනේ වැඩ භාර ගැනීමට නොදීමට කටයුතු කෙරුණේ විමර්ශනයට සහාය දීමේ චෝදනාව මත ය. එම පැවිදි ගුරුවරයා මහනාහිමියන් වහන්සේ දැන හඳුනන අයෙකි. ඒ නිසා අදාළ හිමිනම මහනාහිමියන් බැහැදැක සත්ය කරුණු පහදා දීම නිසා මහනාහිමියගෙන් පැවති බාධා නිමා වීම හේතුවෙන් පිරුවන් ශාඛාව විසින් අදාළ පිරුවන වසා දමා ගුරුවරුන් ස්ථාන මාරු කරන ලදි. එහෙත් පරිවේණාධිපතින් වහන්සේගේ පළිගැනීම නිමා නොවූ බව තහවුරු වූයේ බඩු භාර නොදුන් බවට වූ අසත්ය චෝදනාවක් කලාප කාර්යාලයට දැනුම් දීම හේතුවෙන් ස්ථාන මාරුවීමටත් එම ගුරුවරුන්ට බාධා ඇති වීම නිසා ය.
අධ්යාපන අමාත්යංශයේ පිරුවන් ශාඛාව අතිශයින් දේශපාලනීකරණය වූ දූෂිත ස්ථානයක් බවට ප්රධාන සාධකයක් ලෙස ආණ්ඩු මාරුවීමත් සමග පවතින ආණ්ඩුවට පක්ෂපාතී අයෙක් පිරුවන් අධ්යක්ෂ වීමත් නියෝජ්ය අධ්යාපන අධ්යක්ෂවරුන් බහුතරයකගේ පත්වීම් දේශපාලන පත්වීම් වීමෙනුත් පෙන්නුම් කෙරේ. මා දන්නා පමණින් අධ්යාපන පරිපාලන සේවයේ නියුතු නියෝජ්ය අධ්යාපන අධ්යක්ෂ හිමිවරුන් ඇත්තේ තුන්නමක් හෝ සිව්නමකි. (නිවැරදි කිරීමට යටත්ව). ඒ නිසා ආණ්ඩු මාරුවීමේදී විපක්ෂග්රාහී අධ්යක්ෂ හිමිවරුන්ගෙන් ආණ්ඩුට පක්ෂග්රාහී අධ්යක්ෂ හිමිවරු පළිගනිති. නියෝජ්ය අධ්යාපන අධ්යක්ෂ (පරිපාලන) වෙනත් තනතුරකට මාරු කෙරෙන්නේ ඒ අනුව මිස සුදුසුකම් අඩුවැඩි වීමක් මත නොවේ. එය ම සංඝ සංස්ථාවට අයත් පිරුවන් අධ්යාපන පරිපාලන ක්ෂේත්යේ පරිහානිය පෙන්වන ප්රබල සාධකයකි.
නව පිරුවන් අධ්යාපන අධ්යක්ෂ නාහිමියන් වහන්සේ පිළිබඳව අපට ඇත්තේ නැවුම් බලාපොරොත්තුවකි. උන්වහන්සේ පවතින ආණ්ඩුවට පක්ෂග්රාහී භික්ෂුවක් නොවීමත් මධ්යස්ථ මතධාරී අයෙක් වීමත් අල්ලස් ලබාගැනීමට චෝදනා නොලැබූ ගෞරවාන්විත චරිතයක් වීමත් පෙර කී සිද්ධියේදී සාධාරණව ක්රියාකොට ක්රියාවෙන් ම තමන් වහන්සේගේ ගෞරවාන්විත ස්වභාවය පෙන්වීමත් ආදී සාධනීය කරුණු හේතුවෙන් පෞද්ගලිකව මම උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබමි. එබැවින් මින් ඉදිරියට පරිවෙණාධිපතීන් වහන්සේලාට හෝ අධ්යක්ෂවරුන්ට අල්ලස් ලබාදීමට අවශ්ය නොවන අතර එවැනි පැමිණිලි සාධාරණව විමර්ශනය කෙරෙනු ඇත.
මේ අවස්ථාවේ මේ ගැන ලියන්නට හිතුණේ අපේ පරිවේණාධිපති නාහිමියන් වහන්සේ අද නිල වශයෙන් විශ්රාම ගන්නා නිසා ය. මහබෝසතාණන් වහන්සේගේ චරිතය බැබළීමට දේවදත්ත හාමුදුරුවන්ගේ චරිතය බොහෝ තැන්වල හේතු වූ බවට ජාතක පාළිය සාක්ෂ්යය සපයයි. එසේම දෙලක්ෂයක් පගාව ඉල්ලූ හිඟන පරිවේණාධිපතිවරුන් සිටින රටක තඹ දොයිතුවක් හෝ කිසිම ගුරුවරවයෙකුගෙන් පගාව නොගත් පිරුවන්පති නාහිමිවරු ඒකාන්තයෙන් ම බැබළෙන්නාහු ම ය. කිසිම පිරුවන්පති හිමිනමක් නොකරන ප්රමාණයේ කැපකිරීමක් උන්වහන්සේ කළෝ ය. එනම් උදෑසන හයේ සිට සවස හය දක්වා බෞද්ධ විද්යාලය හා පිරුවන වෙනුවෙන් දවසින් හරි අඩක් ම උන්වහන්සේ කැප කළේ පිරුවන් අධ්යාපනය වෙනුවෙන් ම ය. එවන් කැපකිරීමක් කළ පිරුවන්පති නාහිමියන් වහන්සේ නමක් යටතේ සේවය කිරීමට ලැබීමත් මා ලද සුවිශාල භාග්යයකි.
මේ ආකාරයෙන් උන්වහන්සේගේ ගුණ කියද්දී යමෙක් මා ගැන වරදවා සිතිය හැක. එවැන්නවුන් සිතන ආකාරයට මා කිසිදා ගොට්ට අල්ලන පාහේ නිවටයෙක් වී නැත. කොළඹට ආ මුල් කාලයේ නිතර දැහැත් වැළදීම වැනි දෑට මමත් ශාන්ත සර්ත් දෙදෙනා නිතර නාහිමියන්ගෙන් බැණුම් ඇසූ සැටි මට මතක ය. එක බිත්තියෙන් වෙන් වී සිටියත් මටත් රතු ඉර ගැසීමට උන්වහන්සේ පසුබට නොවූහ. එය උන්වහන්සේ සතු රාජකාරිය දේවකාරිය කොටගත් පෞරුෂයේ ස්වභාවයයි. එසේම ඕනෑම ළාබාල ගුරුවරයෙකුට වුව ද "හාමුදුරුවෝ" යනුවෙන් ඇමතීමටත් සියලු ගුරුවරුන් වෙනුවෙන් උන්වහන්සේගේ කුඩා කාමරයේ ගිලන්පස සැකසීමටත් තරම් නිහතමානී සහෝදරත්වයක් උන්වහන්සේ සතු ය. අපේ වැරදි දැක ඒවාට දුන් අවවාද නිසා බොහෝ ගැටළුවලින් බේරීමට අපට හැකි විය. ඒ අතින් උන්වහන්සේ මට ගුරුවරයෙකි. පරිපාලක භික්ෂුවකට පිරුවන්පති නාහිමියන් අත්පොතක් බඳු ය. ගරු යන වචනයට උන්වහන්සේ සුදුස්සෙක් ම ය. එසේ නම් අපේ ගරු පිරුවන්පති නාහිමියනි, අපේ නාහිමියන් වහන්සේට සුව සපිරි ඉසිඹු දිවියක් ම වේවා! යි හදවතින් ම පතමි.
අඹගහහේනේ බුද්ධරක්ඛිත.
2026.05.11