ගුරු කාර්යක්ෂමතා කඩඉම් - මොඩියුල මාර්ගෝපදේශය
ශ්‍රී ලංකා ගුරු සේවා වයවස්ථා සංග්‍රහයට අනුව, ගුරු සේවයේ එක් ශ්‍රේණියකින් තවත් ශ්‍රේණියකට උසස්වීම සඳහා අනිවාර්ය කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සම්පූර්ණ කර ගැනීම සඳහා අධ්‍යයනය කළ යුතු මොඩියුල, කාලසීමා සහ අදාළ ගුරුවරුන් පිළිබඳ සම්පූර්ණ මාර්ගෝපදේශය.
මොඩියුල අධ්‍යයනය අනිවාර්ය ඇයි?
2014/10/23 දිනැති අංක 1885/38 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශිත ශ්‍රී ලංකා ගුරු සේවයේ ප්‍රතිශෝධිත වයවස්ථා සංග්‍රහයට අනුව, ගුරු සේවයේ එක් ශ්‍රේණියකින් ඊළඟ ශ්‍රේණියට උසස්වීම ලැබීම සඳහා කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සමත්වීම අනිවාර්ය වේ.
මොඩියුල නාමලේඛනය (සාමාන්‍ය ගුරු සේවය · මොඩියුල 20)
පහත මොඩියුලය මත click කර එහි සම්පූර්ණ විස්තර, පුහුණු අන්තර්ගතය සහ අභ්‍යාස වෙත යා හැක.
II ශ්‍රේණියට සෘජුව බඳවා ගත් ගුරුවරුන් සඳහා (පළමු කාර්යක්ෂමතා කඩඉම · මොඩියුල 7)
කාර්යක්ෂමතා කඩඉම් වගුව
| කුමන කාර්යක්ෂමතා කඩඉමද | අදාළ ශ්‍රේණිය | සම්පූර්ණ කළ යුත්තේ කවදාට පෙරද | පැය ගණන | මොඩියුල / සහතිකය |
|---|---|---|---|---|
| 3 පන්තිය → II ශ්‍රේණිය | අදාළ ශ්‍රේණියට පත් වී වසර 03ක් ගත වීමට පෙර | 96 | ගුරු පුහුණු සහතිකය (මොඩියුල 1–7) | |
| 3 පන්තිය → I ශ්‍රේණිය | අදාළ ශ්‍රේණියට පත් වී වසර 03ක් ගත වීමට පෙර | 96 | මොඩියුල 1–7 (i) | |
| 2 පන්තිය — II ශ්‍රේණියට සෘජුව බඳවා ගත් ගුරුවරුන් | අදාළ ශ්‍රේණියට පත් වී වසර 03ක් වීමට පෙර | 112 | මොඩියුල 1–7 (ii) | |
| 2 පන්තිය — II ශ්‍රේණියේ 1 වන පියවරෙහි පිහිටුවනු ලැබූවන් සඳහා | වසර 04ක් ඉක්ම යාමට පෙර | 112 | මොඩියුල 8–14 | |
| 2 පන්තිය — II ශ්‍රේණියේ 3 වන පියවරෙහි පිහිටුවනු ලැබූවන් සඳහා | වසර 04ක් ඉක්ම යාමට පෙර | 112 | මොඩියුල 8–14 | |
| 2 පන්තිය — II ශ්‍රේණියේ 5 වන පියවරෙහි පිහිටුවනු ලැබූවන් සඳහා | වසර 04ක් ඉක්ම යාමට පෙර | 112 | මොඩියුල 8–14 | |
| 2 පන්තිය → I ශ්‍රේණිය | 2-I ශ්‍රේණියට උසස් වී වසර 04ක් ඉක්ම යාමට පෙර | 112 | මොඩියුල 15–20 |
"පියවර" යනු ශ්‍රේණිය තුළ පවතින වැටුප් වර්ධක පියවර (increment step) අඟවයි.
මොඩියුල ක්‍රියාත්මක වන ක්‍රමවේදය
මොඩියුල ගුරු පුහුණු මධ්‍යස්ථාන කේන්ද්‍ර කොට ගෙන ක්‍රියාත්මක කෙරේ. එක් මධ්‍යස්ථානයකට මොඩියුල සම්බන්ධීකරණය හා පැවැත්වීම සඳහා පුහුණුකරු / සම්බන්ධීකරණ නිලධාරීන් තිදෙනෙකු යොදවනු ලැබේ.
එක් නිලධාරියෙකු මොඩියුල 1–7, දෙවැන්නා මොඩියුල 8–14, තෙවැන්නා මොඩියුල 15–20 පැවැත්වීමේ වගකීම දරයි. විශේෂ නිපුණතාවයක් අවශ්‍ය අවස්ථාවලදී අදාළ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් බාහිර දේශකයන් ලෙස යොදා ගත හැකිය (රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අනුමත ගාස්තු පදනම මත).
සතියකට දින 02ක් බැගින්, එක් මොඩියුලයක් මාස 06ක් තුළ නිම කළ යුතුය. නිලධාරීන් 03ක් සිටින බැවින් මාස 06ක් තුළ මොඩියුල 20ම සම්පූර්ණ කළ හැකි අතර, වසරකදී මෙවැනි වැඩසටහන් 02ක් සංවිධානය කළ හැක.
සෑම මොඩියුලයක් අවසානයේම, පැයක සරල ප්‍රශ්න පත්‍රයකට (බහුවරණ / ව්‍යුහගත — රචනා ප්‍රශ්න නොදෙනු ලැබේ) පෙනී සිටිය යුතුය. උත්තර පත්‍ර එහිදීම පරීක්ෂා කර සහතිකය එම අවස්ථාවේම ලබා දේ.
එක් වාරයකට එක් මොඩියුලයක් සඳහා ගුරුවරුන් 50 දෙනෙකු යොදා ගත යුතුය. මධ්‍යස්ථානයේ ඉඩකඩ නොමැති අවස්ථාවක ආසන්න පොදු ගොඩනැගිලි භාවිතා කළ හැක.
සම්බන්ධීකරණ කටයුතු සඳහා පුහුණුවන එක් ගුරුවරයෙකුට රු. 5 බැගින් (කාලීනව සංශෝධනය විය හැක) දීමනාවක් ගෙවිය හැක. සම්බන්ධීකරණ නිලධාරියා ගුරු සේවයේ 1 පන්තියේ හෝ අනෙකුත් අධ්‍යාපන සේවා නිලධාරියෙකු වන අතර, සරල අභියෝග්‍යතා + ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයකින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වසර 03ක කාලයකට තෝරා පත් කරනු ලැබේ (නව තනතුරක් නොවේ).