දඹදෙනි යුගය උදාවෙත්ම පාලි සාහිත්‍යයේ නවෝදයක් ඇති විය. විවිධ කරුණු ඔස්සේ විවිධ සාහිත්යික ග්‍ර‍න්ථ නිපැයීමෙන් එය වඩාත් වර්ධනය විය. සිංහල, පාලි, ග්‍ර‍න්ථ නව මුහුණුවරක් දෙමින් බිහිවූයේ දඹදෙනි යුගයෙහිය. සමහරක් නැවත සංස්කරණය කළ අතර, සමහරක් අමුතුවෙන්ම නිපදවූහ. පාලි සාහිත්‍ය ග්‍ර‍න්ථ නිපදවීමේ වැඩි ගෞරවය ලාංකෙය භික්‍ෂූන් වහන්සේ සතුවෙති. මුල දී “පාලි” යන්න බුද්ධ ධර්මය හැඳින්වීමට භාවිත වුව ද පසුව එය පාලියේ ගැටලු තැන් විසඳීමට විස්තෘතව අටුවා, ටීකා ආදියෙන් වැඩි භාෂාවක් වශයෙන් සංවර්ධනය විය. අනතුරුව වංශ කථා, චරිත කථා ආදිය නිසා පාලි භාෂා සාහිත්‍යය වඩාත් දියුණු විය. ථෙරවාදී බෞද්ධ සාහිත්‍යය දියුණු වීමට පාලි භාෂාව උපකාර විය. මහායානිකයන් සංස්කෘත භාෂාව මාධ්‍යය කරගෙන බුද්ධ ධර්‍මය විචාරයට ලක් කළ අතර, ථෙරවාදීහු එයට පහර ගසමින් බුද්ධභාෂිත හුදු පාලි භාෂාවෙන්ම දෙශිත යයි කියමින් පාලි භාෂාවෙන්ම බෞද්ධ සාහිත්‍යය දියුණු කළහ.

ලංකා සාහිත්‍ය ඉතිහාසයේ පොළොන්නරු යුගය වන විට සංස්කෘතය තදින් පැතිරී ගිය බව පිළිගැනේ. බෞද්ධ භික්ෂූන් වහන්සේ සංස්කෘත භාෂාවෙන් ලද ආභාසය නිසා පාලි සාහිත්‍ය සංවර්ධනයට එය උපකාර කරගත් බැව් පශ්චාත් කාලීන පාලි ග්‍ර‍න්ථ සමීක්‍ෂණයෙන් එය පැහැදිලි වේ. දඹදෙනි යුගය වනවිට ද එය බලපා ඇති අයුරු එම යුගයෙහි රචිත ථූපවංස, රසවාහිනී ආදී ග්‍ර‍න්ථයන්ගෙන් පැහැදිලි වේ.

මෙහිදී අපේ විචාරයට ලක්වනුයේ “රසවාහිනී” යයි. රසවාහිනිය වංශ කථා ගණයට මෙන්ම මහාර්‍ඝ ධර්‍ම ග්‍ර‍න්ථයක් වශයෙන් ද, චරිත කථා සංග්‍ර‍හයක් වශයෙන් ද ගිණිය හැකි චම්පු කාව්‍යයකි. මෙහි සඳහන් කථා බුද්ධ පරිනිර්‍වාණයෙන් පසුව ඇති වූ සිද්ධීන් වශයෙන් සැලකේ.

රසවාහිනිය ලිවීමට ද සිංහල කථා පොතක් උපකාර වූ බැව් එහිම මෙසේ සඳහන් වේ.

“තත්‍ථ තත්‍ථූප්පන්නානි – වත්‍ථූනි අරහා පුරෙ

අභාසුං දීපභාසාය – ඨපෙසුං තං පුරාතනා

මහා විහාරෙ තඞ්ගුත්ත – වඞ්ක පරිවෙණ වාසිකො

රට්ඨපාලො’ති නාමෙන – සීලාචාර ගුණාකරො

හිතාය පරිවත්තෙසි – පජානං පාලි භාසතො

පුනරුත්තාදි දොසෙහි – තමාසි සබ්බ මාකුලං

අනාකුලං කරිස්සාමි – තං සුණාථ සමාහිතා”

මුලදී සිංහල බසින් තුබූ පොත මහා විහාරයෙහි තඞ්ගුත්ත වඞ්ක පිරිවෙන් වැසි රට්ඨපාල හිමිතුමන් විසින් පාලියට නැගූ බවත්, එයද පුනරුක්තාදි දොෂයන්ගෙන් ගහණ නිසා මේ රසවාහිනිය යථොක්ත දොෂයන්ගෙන් පහකොට කළ බවත් සඳහන් වේ. එයින් මේ කෘතිය තනිකරම වෙදෙහ හිමියන්ගේ නිෂ්පාදනයක් හැටියට දැක්විය නොහේ.

රසවාහිනී කතුවරයා වෙදෙහ හිමිතුමන්ය. ඒ බව ග්‍ර‍න්ථාවසානයෙහි දැක්වෙන කර්තෘනාම සංදර්ශනයෙහි මෙසේ එයි.

“කාලිඞ්ගව්හො මහාථෙරො – යස්සො පජ්ඣායතං ගතො,

මඞ්ගලව්හො මහාථෙරො – ඛණ්ඩසීමාපතී යතී.

යස්ස ආචරියො ආසි – සබ්බසන්‍ථ විසාරදො

අරඤ්ඤායතනානන්‍දො – මහාථෙරො මහා ගණී.

ගරුන්ත මාගතො යස්ස – සත්ථ සාගර පාරගු

යො විප්පගාම වංසෙ’ක – කෙතුභූතො ති සීහලෙ.

යො’කා සීහල භාසාය – සීහලං සද්දලක්ඛණං

යො ච සමන්ත කූටස්ස – වණ්ණනං වණ්ණයී සුභං

තෙන වෙදෙහ ථෙරෙන – කතා’යං රසවාහිනී”

“කාලිඞ්ග නම් මහතෙර නම යමෙකුගේ උපාධ්‍යාය භාවයට පත්වීද, භණ්ඩසීමාපතිවූ සියළු ශාස්ත්‍ර‍යන්හි විශාරද මංගල මහතෙර යමෙකුගේ කර්‍මාචාර්‍ය්‍ය වීද, මහ පිරිස් ඇති, ශාස්ත්‍ර‍ සාගර පාරගතවූ ආනන්‍ද වනරතන ස්ථවිරතුමා යමෙකුගේ ආචාර්‍ය්‍ය වීද: යම් තෙර නමක් ත්‍රී සිංහලයෙහි විප්ප ගාම වංශයට එකම ධ්වජයක් වැනි වීද, යමෙක් සිංහල බසින් එම භාෂාවේ ව්‍යාකරණයක් ලීවේද, යමෙක් ‘සමන්තකූට වණ්ණනා’ නැමැති ග්‍ර‍න්ථය සම්පාදනය කෙළේද, ඒ වෙදෙහ තෙරුන් විසින් මේ ‘රසවාහිනි’ය කරණ ලදි.

රසවාහිනිය ලියූ වෙදෙහ හිමිත්, සඟරාව ලියූ පතිරාජ පිරුවන්පති හිමිත්, එකෙකු සේ සලකත් නම්, මුන් වහන්සේගේ ජීවන සමය දඹදෙණි යුගයෙහි රජ කළ පණ්ඩිත පරාක්‍ර‍මබාහු රජතුමාගේ රාජ්‍ය කාලයට සම්බන්ධ වේ. මෙකල්හි විසූහ’යි යන මතය බහු සම්භාවිත මතය සේ සැලකේ.

රසවාහිනිය ප්‍ර‍මාණ වශයෙන් බණවර තිස් දෙකකි. පෙර තෙරුන් වහන්සේලා විසින් කියන ලද කථා වස්තු මෙහි ඇතුළත්ය. මෙහි කථා කොටස් දෙකකි. දඹදිව හටගත් කථා වස්තු දක්වන කොටස හා ලංකාවේ හටගත් කථාවස්තු දක්වන කොටසත් වශයෙනි. දඹදිව කථා සමසතළිසකි. එහි ගාථා 657 කි. ලක්දිව කථා හැට තුනකි. එහි ගාථා 1076 කි. එයින් මෙය ලංකාවේ උපන් කථා කොටසට අයත් 5. මිගපොතකවග්ග, 6. උත්තරොලිය වග්ග පිළිබඳ වූ විස්තරය ප්‍ර‍ධාන කොට ඇත්තකි.

රසවාහිනිය කථා මාර්ගයෙන් බුද්ධ ධර්මය ප්‍ර‍කාශයට ගත් මාර්ගයකි. එය විවිධ කරුණු ඔස්සේ ගමන් කරයි. ඉතිහාසය චරිත කථා, දහම් ක්‍ර‍ම ආදිය උපයෝගී කරගෙන රචනා කර ඇත. රසවාහිනී කථා විලාසය නොබිඳී ගලා යන ගඞ්ගාවක් සේ පාඨකයා තුළ රස දනවමින් කතාව ගෙනයයි. මෙහි සරල පාලි භාෂා රීතිය අනුගමනය කර ඇත. එහෙත් සමහර තන්හිදී කාව්‍යමය රචනා විලාසයක් ද දක්නා ලැබේ. මෙය රචනයෙහිදී සංස්කෘත රචනා ශෛලිය අනුගමනය කිරීම එයට හේතුවී ඇත. අනුප්‍රාස, අලංකාර හිතාමතා යොදා ඇත. මේ නිසා සරල ශෛලිය ගිලිහී ගිය තැන්ද දක්නා ලැබේ. පාලි ග්‍ර‍න්ථ කර්තෘවරුන් බොහො දෙනෙකු අනුගමනය කළ ක්‍ර‍මයක් නම් සිංහල සංඥානාම පාලි කිරීමයි. එනිසා තත් ග්‍රාම නාමාදිය විකෘත වී ඇත. මෙහිද එය දක්නා ලැබේ.

කිස්තු පූර්ව දෙවන – පළමුවන සියවස්හි ලංකාවේ පැවති සමාජය ගැන දැන ගැනීමට මේ කථා උපකාරී වේ. තත් කාලීන සමාජය පිතෘ මූලික සමාජයක් විිය. සිංහල සමාජයේ අගනුවර වූයේ අනුරාධපුරයයි. මාගම දෙවැනි අගනුවර වශයෙන් සැලකේ. තත්කාලීන රාෂ්ට්‍ර‍ පාලකයෝ රුහුණු, කැළණි, අනුරාධපුර වශයෙන් භෙද වූහ. එයින් වැඩි සමාජ තත්ත්වයක් දක්නට ලැබෙන්නේ අනුරාධපුරයෙහි හා රුහුණෙහි ය. රුහුණෙහි ධර්‍මකාමී සමාජයක් දක්නට ලැබෙන අතර අනුරාධපුර සමාජය විදේශීය බලයෙන් පීඩිතව පැවතියකි. එහෙත් සාමකාමී සමාජයක් පැවති බව පෙනේ. රුහුණු බෞද්ධයා දන්දීම ඉතා අගේ කොට සැලකූහ. පුන්‍යක්‍රියාවන්හි නිරත වූ සමාජයක් එහි දැක්ක හැකිය.

අපේ වංශ කථා සාහිත්‍යයේ සඳහන්වන දශමහා යොධයන්ගේ ජීවන ප්‍ර‍වෘත්ති මෙහි දැක්වේ. ඒවා මති මතාන්තර නොව සත්‍ය ප්‍ර‍වෘත්ති බව දැන් එම පෙදෙස්වලින් ලැබෙන, ලැබී ඇති සෙල්ලිපිවලින් හෙළිවේ.

රසවාහිනී i යොධ වග්ගයේ කපුටාගේ කථාවෙන් කපුටු භාෂාව උගත් ගිහි පැවිදි දෙපක්‍ෂයම සිටි බව පෙනේ. තත් කාලීන සංඝ සමාජය ඉතා සිල්වත් බොහෝ භික්‍ෂූන් වහන්සේගෙන් පිරී පැවති බව පෙනේ. මෙහිදී ලංකා ඉතිහාසයේ රාජවංශ පරම්පරාවේ නම් දෙවන පෑතිස් රජුගේ සිට දුටුගැමුණු රජතුමා දක්වා සංක්‍ෂෙපයෙන් දක්වා ඇත. දුටුගැමුණු චරිතය සම්පූර්ණයෙන් දක්වයි. එදා රජයට සංඝයා වහන්සේගේ බලය කොතරම් දුරට බලපෑවේද යන්න මෙහි සඳහන් වේ. භික්‍ෂූන් වහන්සේ යුද පෙරමුණට පවා වැඩියහ. රාජ්‍ය නායකයන් තේරීමේ නිරතවූහ. සංඝ බලය අසීමිත සේ නැගී සිටි බව පෙනේ.

දශ මහා යොධයන්ගේ චරිත හා බල වික්‍ර‍ම දක්වන අතර එදා සිංහල රට ද්‍ර‍විඩ උපද්‍රවයෙන් බේරා ගැනීමට ගත් උත්සාහයත්, එහිදී යුද්ධ ක්‍ර‍ම ආරක්‍ෂා සංවිධාන ආරක්‍ෂක බලකොටු ආදිය පිළිබඳ විස්තරත් දැක්වේ.

යුද්ධයට පෙර රටේ ආර්ථික සංවර්ධනය ඇති කිරීමට කෘෂිකර්මය දියුණු කිරීමෙන් එය පැහැදිලි වේ. මෙයින් එදාද ලංකාව කෘෂිකාර්මික අතින් දියුණුවක් ලබා තිබූ බව පැහැදිලි වේ.

මෙලොව පරලොව පිළිබඳ හැඟීමත්, පව් පින්වල විපාකයන් මැනවින් දත් සමාජයක් එදා වූ බව පැහැදිලිවන අතර, රා බීම, ස්ත්‍රීන්ගේ කාමාංශක්ත භාවාදිය ගැන ද සඳහන් වේ. මෙසේ සමාජයේ විවිධ අවස්ථා මෙහි දැක්ක හැකිය.

රසවාහිනිය නොනවත්වා කියවිය හැකි රසවත් නිබන්‍ධනයක් වන අතර එදා සමාජ තත්ත්වය දැන ගැනීමට මහඟු උපකාරයෙක් ද වේ.

මෙයට, ශාෂ්ත්‍රොන්නතිකාමී,

රන්ජිත් වනරත්න

1987.5.13

‘වනමල්’

ඉරට්ටකුලම,

මාදම්පෙ. (වයඹ)

PDF ලෙස ඩවුන්ලෝඩ් කරගන්න.

මෙතෙක් නැරඹූ ප්‍රමාණය - 0